Parenthrive - Celebrating Parenthood, Embracing the Journey ඔබේ අසතුට දරුවව අපහසුතාවයට පත් කරන්නෙ මෙහෙමයි....
image

දෙමාපිය අසතුට කියන්නේ වර්තමානය වන විට ඉතාමත් විශාල ප්‍රශ්නගත තත්වයක්.රටේ පවතින ආර්ථික තත්ත්වය, වෙනත් සමාජමය ප්‍රශ්න නිසා ගොඩක් වෙලාවට දෙමාපියන් ඉන්නේ ප්‍රශ්න වලින් මිරිකිලා. එහෙම අවස්ථාවක ඔබ නිරීක්ෂණය කරලා තියෙනවද ඔබේ දරුවාගේ මුහුණෙන් කියවෙන ඉරියව් ගැන ??

 

ඇත්ත වශයෙන්ම දරුවෙක් කියන්නේ ඔබේ පිටපතක්.ඔබ සිතන විදිහ, ඔබ ක්‍රියා කරන විදිහ මේ හැමදෙයක්ම දරුවන් ඉතා ඉක්මනින් ඔවුන්ගේ මනසෙන් කියවා ගන්නවා. ඒ නිසා ඔබ තරහ ගද්දී ,ඔබ සතුටින්  ඉද්දි , දුකින් ඉද්දී, මේ හැම ඉරියව්වක්ම ,මේ හැම හැඟීමක්ම දරුවා එයාගේ මොළයට අවශෝෂණය කරගන්නවා.

 

බොහෝ වෙලාවට දෙමව්පියන් සිතනවා දරුවන් ලොකු වෙද්දි මේ හැම ප්‍රශ්නයක්ම විසඳෙයි, හැමදේම නැවත යථා තත්ත්වයට පත් වෙයි කියලා. හැබැයි දරුවන් ඒ නිසි වයසට එන විට ඒ දරුවාගේ වර්ධනය වගේම සංවර්ධනය කියන පැති දෙකම හිතාගන්නත් බැරි විදිහට වෙනස් වෙලා තියෙන්නට ඉඩ තිබෙනවා.

 

දරුවෙකුගේ පෞරුෂය කියලා කියන්නේ මොකක්ද කියලා ඔබ දන්නවද?

 

අන් අයත් සමඟ සමාජානුයෝජනය කරන්නේ කොහොමද , තමන්ගේ ජීවිතයට එන ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්නෙ කොහොමද, ප්‍රශ්නවලට විසඳුම් සොයද්දී හැසිරෙන්නේ කොහොමද වගේම තීරණ ගන්නේ කොහොමද කියන කරුණු ගණනාවක එකතුවක්.

 

ඔබ නිතරම සිටින්නේ අසතුටින් නම් එය ඉතාම දරුණු විදිහට දරුවාට කායිකව වගේම මානසිකව බලපාන්නට ඉඩ තිබෙනවා. මේ හේතුව නිසාම කල් යත්ම දරුවන් විශාදය කියන තත්ත්වයට පත්වීමටත් ඉඩ තිබෙනවා. එම නිසා ඔබේ නොසතුට හැකිතාක් දරුවන්ට නොපෙන්වා ඉන්න වග බලාගන්න.

 

දරුවෝ කියන්නේ හරිම සංවේදී පිරිසක්.ඒ නිසා ඔබේ අතින් සිදුවන කුඩා අඩුපාඩුවක් නිසාවෙන් දරුවෙකුගේ ආත්ම ශක්තිය නැතිවෙලා යන්න තියෙන්නෙ ඉඩකඩ හුඟක් වැඩි වෙන්න පුළුවන්.සාමාන්‍යයෙන් අවුරුදු පහකට අඩු දරුවකු නම් බොහෝ විට එම දරුවා සිතන්නට ඉඩ තිබෙනවා මේ සියලු ප්‍රශ්න වලට හේතුව සහ අම්මා වගේම තාත්තා  අසතුටින් ඉන්න හේතුව තමන්ගේම වරදක් බවට.

 

කුමන අවස්ථාවකවත් දරුවාට පෙනෙන්නට ඔබ අසතුටින් සිටින්නට එපා.මෙම තත්ත්ව පසුකාලීනව දරුවාට කාන්සාව වැනි තත්ත්වවලට යාමට පවා ඉඩ හදනවා.එවිට පිරිසක් ඉදිරියට ගොස් කතා කරන්නට, ඉදිරිපත් කිරීම් කරන්නට දරුවා අනිසි ලෙස බිය වෙනවා.එම නිසා චිත්තවේගී වැරදිකාර  හැඟීමක් දරුවාට සම්ප්‍රේෂනය කරන්නට ඔබ කටයුතු කරන්නට එපා.දරුවාගේ අනාගත මුළු ජීවිත කාලය පුරාවටම මින් බලපෑම් ඇති කළ හැකියි..

 

එම නිසා හැකි සෑම විටම දරුවන් ඉදිරියේ ඔබ සතුටින් සිටින්න.ඔබේ ගැටලු ඔබ දෙපළ විසින් දරුවන් නොමැති අවස්ථාවක කතා කරන්නට විසඳ ගන්නට අවස්ථාව සලසා ගන්න. එසේත් නැතිනම් එම අසතුටුදායක අවස්ථාවන් දරුවන්ට වැරදිකාර හැඟීමකින්  ඉඩ නො සලසන්න.