Parenthrive - Celebrating Parenthood, Embracing the Journey ඔබේ දරුවාත් ‘ඇඩික්ටඩ්’ ද?
image

වර්තමාන ඩිජිටල් යුගයේ, ස්මාර්ට් ජංගම දුරකථන අපගේ ජීවිතයේ නැතුවම බැරි අනිවාර්ය අංගයක් බවට පත් වී ඇත. එසේම එය පහසුවෙන්, විනෝදාස්වාදය සහ සම්බන්ධතාවය ලබා දෙන නිසා වැඩ රාජකාරි බහුල දෙමාපිය අපටත් තාක්ෂණය අත්හැර දැමීමට අපහසුය. කෙසේ වෙතත්, ළමුන් සඳහා, නිමක් නැති යෙදුම්, පරිගණක ක්‍රීඩා සහ සමාජ මාධ්‍ය වේදිකාවල ආකර්ෂණය සමහර විට අධික Screen Time නැත්තම් ඩිජිටල් තිර කාලයකට සහ සමහර අවස්ථාවල දුරකථන/පරිගණක වලට ඇබ්බැහි වීමටද හේතු විය හැක. දෙමාපියන් වශයෙන්, දරුවන් ජංගම දුරකථනවලට ඇබ්බැහි වීමේ සලකුණු හඳුනා ගැනීම සහ සෞඛ්‍යට හිතකර තාක්ෂණික පුරුදු ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාශීලී පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ. මෙම දිනෙන් දින ගැටලු මතු කරන පොදු අභියෝගය ඔස්සේ සැරිසැරීමට ඔබට උපකාර කරන්නා වූ මාර්ගෝපදේශයක් මෙන්න:

 

ජංගම දුරකථන ඇබ්බැහි ඇත්දැයි තේරුම් ගැන්නේ කෙසේ ද?

අධික ඩිජිටල් තිර කාලය, ජංගම දුරකථනය සඳහා ඇති අධික උනන්දුව, එය භාවිතා නොකරන විට/ඈත් කළ විට කෝපයට පත් වීම, වෙනත් ක්‍රියාකාරකම් හෝ වගකීම් නොසලකා හැරීම ඇතුළු විවිධ ආකාරවලින් දුරකථන වලට ඇබ්බැහි වීම හෝ ගැටළු සහගත අධික ස්මාර්ට්ෆෝන් භාවිතය පිළිබඳ ඔබේ දරුවාගෙන් ප්‍රකාශ විය හැක. එය දරුවාගේ ශාරීරික සෞඛ්‍යය, මානසික යහපැවැත්ම, අධ්‍යයන කාර්ය සාධනය සහ සමාජ සම්බන්ධතා කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකිය.

 

ජංගම දුරකථන වලට ඇබ්බැහි වීමේ සලකුණු:

  • විශේෂයෙන් ගෙදර වැඩ, ඇඟ මහන්සි වන ක්‍රියාකාරකම්, හෝ සමාජ අන්තර්ක්‍රියා වැනි වෙනත් ක්‍රියාකාරකම්වල යෙදීම මඟහරිමින් ජංගම දුරකථනයේ/පරිගණකයේ අධික කාලයක් ගත කිරීම.
  • ජංගම දුරකථනය භාවිතා කිරීමට ඉඩ නොදෙන විට යම් කාර්යයකට අවධානය යොමු කිරීමේ අපහසුව හෝ දැඩි කෝපයට පත් වීම.
  • පවුලේ ක්‍රියාකාරකම් වලින් ඉවත් වීම හෝ විනෝදාංශ කෙරෙහි ඇති උනන්දුව අඩු වීම.
  • රාත්‍රියේදීත් ජංගම දුරකථනය භාවිතය හේතුවෙන් නින්දට බාධා වීම.

සෞඛ්‍යට හානි නොවන තාක්ෂණික පුරුදු වෙත තම දරුවන්ට මග පෙන්වීමට දෙමාපියන්ට උපකාර වන්නා වූ ප්‍රායෝගික උපාය මාර්ග කිහිපයක් මෙන්න:

  • නිවස තුල Screen Time කාල සීමාවන් පිළිබඳ නීති පණවන්න

ඔබේ දරුවාට එදිනෙදා ඔවුන්ගේ දුරකථනය භාවිතා කළ හැකි වේලාව සහ ඒ කොපමණ කාලයක් සඳහාද යන්න පිළිබඳ නිශ්චිත නීති සකසන්න. පාසලේ ගෙදර වැඩ, ගෙදර දොරේ වැඩ, එළිමහන් ක්‍රීඩා සහ පවුලේ කාලය වැනි වෙනත් ක්‍රියාකාරකම් සමඟ ජංගම දුරකථනය භාවිතා කරන කාලය ද සමතුලිත වන ලෙස දරුවාට කාලසටහනක් සාදන්න.

 

මෙම නීති අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තාක්ෂණික උපාංග හෝ තෙවන පාර්ශ්ව යෙදුම්වල ඇති ඩිජිටල් තිර කාලයන් කළමනාකරණ (screen time) විශේෂාංග වැනි මෙවලම් භාවිත කරන්න.

 

  • නිවසේ තාක්ෂණික උපාංගවලින්-නිදහස් කලාප/ස්ථාන සහ වේලාවන් නියම කරන්න:

නිවසේ ජංගම දුරකථන භාවිතයට ඉඩ නොදෙන ප්‍රදේශ නියම කරන්න.( නිදන කාමර තුළ සහ කෑම මේසයේදී වැනි) මුළු පවුලටම තාක්ෂණික උපාංගවලින් නිදහස් කාලයන් ලෙස (ආහාර ගන්නා අතරතුර කාලය හෝ නින්දට පෙර කාලය වැනි) නිශ්චිත වේලාවන් නියම කරන්න.

 

මෙම කාලවලදී පොත් කියවීම, චිත්‍ර ඇඳීම, බෝඩ් ක්‍රීඩා කිරීම හෝ එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදීම වැනි විකල්ප ක්‍රියාකාරකම් කිරීමට දරුවා දිරිමත් කරන්න.

  • දරුවාට උදාහරණයක් වෙමින් නිවසේ දී නායකත්වය සපයන්න

ඔබද නිවසේදී (නිදන කාමරයේද‍ි සහ කෑම මේසයේදී) ජංගම දුරකථන භාවිතය සීමා කිරීමෙන් සහ ඒ මොහොතේ දරුවා වෙනුවෙන් රැඳී සිටීමේ වැදගත්කම පෙන්නුම් කිරීමෙන් සෞඛ්‍යවත් Screen Time සහ තාක්ෂණික උපාංග භාවිතයයේ වැදගත්කම පෙන්නුම් කරමින් දරුවාට ආදර්ශවත් වන්න. දරුවා ඉගෙන ගන්නේ ඔබේ ආදර්ශයෙන් බව අමතක නොකරන්න.

 

ඉවුම් පිහුම්, ගෙවතු වගාව හෝ ඇවිදීම, සොබාදහම විඳීම වැනි තාක්ෂණික උපාංග සම්බන්ධ නොවන පවුලක් ලෙස එකට නියැලිය හැකි ක්‍රියාකාරකම්වල දරුවන් හා නිරත වන්න.

 

  • සමබර ක්‍රියාකාරකම් දිරිමත් කරන්න

ඩිජිටල් තිරයෙන් ඔබ්බට දරුවාට ඇති විවිධ රුචිකත්වයන් සහ විනෝදාංශයන්වල යෙදීමට ඔබේ දරුවා දිරිමත් කරන්න. සංගීත භාණ්ඩයක් වාදනය කිරීම, ක්‍රීඩා කණ්ඩායමකට සම්බන්ධ වීම හෝ ස්වේච්ඡාවෙන් ප්‍රජා කටයුතු සඳහා ඉදිරිපත් වීම වැනි ඔවුන් ප්‍රිය කරන ක්‍රියාකාරකම් සොයා ගැනීමට ඔවුන්ට උදවු කරන්න.

ඔබේ දරුවාට ඔවුන්ගේ ආශාවන් ගවේෂණය කිරීමට සහ නව කුසලතා වර්ධනය කිරීමට උපකාර කිරීමට අවශ්‍ය සම්පත් සහ සහාය ලබා දීම ඔබගේ යුතුකමක් බව ද අමතක නොකරන්න.

 

  • නිවස තුළ විවෘත සන්නිවේදනයක් වර්ධනය කරන්න

තම හැඟීම් සහ අත්දැකීම් සාකච්ඡා කිරීමට ඔබේ දරුවාට පහසුවක් දැනෙන ආරක්ෂිත සහ සහායක පරිසරයක් සාදන්න.

ඩිජිටල් තිරයේ ගත කරන කාලය පිළිබඳ සංවාදයක් ආරම්භ කිරීමට, ඔවුන්ගේ ඩිජිටල් ක්‍රියාකාරකම් පිළිබඳ ප්‍රශ්න ඇසීමට, සහ ඔවුන් මුහුණ දෙන කිසියම් ගැටලු හෝ අභියෝගයන් ආමන්ත්‍රණය කිරීමට දරුවා සහ විවෘත සන්නිවේදනයේ යෙදෙන්න.

 

  • ඔබට කළ හැකි දේ සඳහා අවධානය ලබා දෙන්න

ඩිජිටල් තිරයේ ගත කරන කාලය අඩු කිරීම ක්‍රමානුකූලව සිදුවිය යුතු ක්‍රියාවලියක් විය යුතු බවත් අතරමගදී පසුබෑම් ඇති විය හැකි බවත් හඳුනා ගන්න. කුඩා ජයග්‍රහණ සමරන්න. ඔබේ දරුවාට ප්‍රායෝගික ක්‍රියාකාරකම් කිරිම සඳහා දිරිගැන්වීම් සහ අවශ්‍ය සහාය ලබා දෙන්න.

ප්‍රගතිය කෙරෙහි අවධානය යොමු කරන්න. ඔබේ දරුවාගේ පුද්ගලික අවශ්‍යතා සහ තත්වය මත පදනම්ව අවශ්‍ය පරිදි මේ සඳහා ඔබේ ගැනීමට බලාපොරොත්තු වන්නා වූ ප්‍රවේශය සකස් කරන්න.

 

  • අවශ්‍ය නම් වෘත්තීය සහාය පතන්න:

ඔබ ඔබේ දරුවාගේ දුරකථන භාවිතය පාලනය කිරීමට අරගල කරන්නේ නම් හෝ තාක්ෂණය දරුවන්ගේ යහපැවැත්ම කෙරෙහි ඇති කරන බලපෑම ගැන ඔබ සැලකිලිමත් වන්නේ නම්, දරුවන් තාක්ෂණික උපාංගවලට ඇබ්බැහි වීම පිළිබඳ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු, චිකිත්සකයකු හෝ උපදේශකයකුගෙන් මඟ පෙන්වීම ලබා ගැනීමට පසුබට නොවන්න.

මෙම ප්‍රායෝගික උපාය මාර්ගයන් ක්‍රියාවට නැංවීමෙන්, දෙමාපියන්ට තම දරුවන්ට සෞඛ්‍ය සම්පන්න පුරුදු වර්ධනය කර ගැනීමට සහ වර්තමාන ඩිජිටල් ලෝකයේ අභියෝග ජයගනිමින් දියුණුව කරා ලඟාවීමට උපකාර කළ හැකිය.