Parenthrive - Celebrating Parenthood, Embracing the Journey දරුවා හා සබැඳි ආධ්‍යාත්මයේ පැතිකඩ
image

අපගේ දරුවන්ගේ ජීවිත තුළ අධ්‍යාත්මිකත්වය වර්ධනය කල යුතු වන්නේ ඇයි යන්නා වූ පණිවුඩය රැගත්  ලොව පුරා ජනතාවගේ සිත් සතන් නිවාලා වූ අති ගෞරවණීය පොතුහැර මහින්දසිරි හිමි විසින් සිදු කරනු ලැබූ විශේෂ වැඩසටහන මැයි මස 10 වන සිකුරාදා පස්වරු 7.00 ට ZOOM ඔන්ලයින් වේදිකාව ඔස්සේ පේරන්ත්‍රයිව් දෙමාපිය ප්‍රජාව සඳහා පැවැත්වුණි. අපගේ පුංචි මල් කැකුලු ප්‍රඥාව සහිත ගුණගරුක සමාජයක් කරා යොමු කිරීම අරමුණැතිව පැවැත්වුණු මෙම සැසිය දෙසියයකට අධික මාපිය පිරිසකගේ සහභාගිත්වයෙන් ස්වාමීන් වහන්සේගේ කාරුණික මඟපෙන්වීම ඔස්සේ ඇරඹිණි.  දරුවන්ගේ අධ්‍යාත්මික වර්ධනය පෝෂණය කිරීමේ වැදගත්කම පිළිබඳව සියලුම දෙමව්පියන් හට නොමිලයේම සිදුකරනු ලැබූ මෙම සැසියේදී ධර්මයට පමණක් සීමා නොවූ වටිනා සහ කාලෝචිත කරුණු රැසකින් සමන්විත විය.

 

සාම්ප්‍රදායික අදහස්වලින් ඔබ්බට විහිදුණු පුළුල් විෂය කරුණු මාලාවක් දේශනා කළ ස්වාමීන් වහන්සේගේ කාරුණික මඟපෙන්වීම ඔස්සේ, දරුවකුගේ ආධ්‍යාත්මික සංවර්ධනය, දෙමාපියකු ලෙස ආදර්ශමත් වීම, දරුවන් අවබෝධ කරගැනීම, ආදි බොහෝ මාතෘකා තමන් වහන්සේගේ ප්‍රායෝගික උපදේශ, අනුශාසනාවන් ගෙනහැර පෑහ. මව්වරු පියවරුන්ගේ  දැඩි උනන්දුව සහ ක්‍රියාශීලි සහභාගිත්වය සැසිය පුරාවටම දක්නට ලැබිණි. දෙමාපියන් විසින් තමන් මුහුණ දෙන්නා වූ නොයෙකුත් අභියෝග සහ එදිනෙදා ගැටලු ස්වාමීන් වහන්සේගේ අවධානයට යොමු කළ අතර ඒ සඳහා ප්‍රායෝගික විසඳුම් ලබා දෙමින් එම ගැටලු අවබෝධ කර ගැනීමටත් තමා තුළින් විසඳුම් සෙවීමටත් උන් වහන්සේ සිය ප්‍රඥාව ලබා දුන්හ.

 

හෝරා දෙකක් මුළුල්ලේ තම ධාර්මික ඥානය සහ දැනුම බෙදාගත් මහින්දසිරි ස්වාමීන් වහන්සේගේ දේශනාව සඳහා ආගම්, ජාති භේදයකින් තොරව ලාංකික සහ අන්තර්ජාතික සියළු දෙමාපියන් පිරිසකගේ සහභාගිත්වයකින් පැවැත්වුණි. සැසියෙහි ඉමහත් වටිනාකම සහ සාර්ථකත්වය දෙමාපිය ප්‍රතිචාර තුළින් මනාව පිලිඹිබු විය. අප‌ගේ මාපිය ප්‍රජාව දම් සිසිලසින් සහ දැනුමින් නැහැවූ පොතුහැර මහින්දසිරි ස්වාමීන් වහන්සේට අපගේ ස්තූතිය සහ උන්වහන්සේට අමාමහ නිවන් සුව දකින්නට මෙම පිං මහිමය හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමු.