Parenthrive - Celebrating Parenthood, Embracing the Journey දරුවෙකු පිළිබඳව සිහින දකින නව විවාපත් ඔබ විසින් කළ යුතු මූලික දේ - අංක 02
image

ඔබේ ඔසප්වීම පිළිබඳ අවදානයෙන් සිටින්න.

 

ඔබගේ ඔසප්වීම නියමිත කාලවකවානුවට සිදු නොවුනා නම් ගර්භණි පරීක්ෂණය සිදු කරන්න.මේ පිළිබඳව නම් ඔබ බොහෝ විට දැනුවත්. ඔබ මෙම පරික්ෂාවට ලබා ගත යුත්තේ උදෑසන මුත්‍රා සාම්පලයක්. ඒකට හේතුව උදෑසන  පිටකරන මුත්‍රා සාම්පලයක අදාළ හෝර්මෝනමය සාන්ද්‍රණය උපරිමව තිබීමයි. මෙසේ ලබා ගත් මුත්‍රා සාම්පලය වෛද්‍ය රසායනාගාරයකට ලබා දී පරික්ෂා කරවා ගත හැකි නමුත් වර්තමානයේ නම්  වෙළෙඳ පොලේ තමන්ටම තනිවම ගර්භණීත්වය පරික්ෂා කර ගත හැකි අයුරින් සකස් කර ඇති HCG පටියක් භාවිත කරන්නට පුළුවන්.

 

ඔබ ගැබ් ගෙන ඇත්නම් ඒ බව පවුල් සෞඛ්‍ය නිලධාරිනියට දැනුම් දීම අත්‍යාවශ්‍ය වෙනවා.

 

ඔබ ගැබ් ගෙන ඇත්නම් ඒ බව පවුල් සෞඛ්‍ය නිලධාරිනියට දැනුම් දුන් පසු ඇය ඔබව සායනයට යොමු කරනවා. ඒ අනුව ගර්භණී කාලය පුරාවටත් දරු ප්‍රසූතියෙන් පසු සේවාවනුත් ඔබට ලබා ගන්නට පුළුවන් වෙනවා.ඔබව සායනයට යොමු කල පසු සායනයේ වෛද්‍යවරයාට සියළු දත්ත ලබා දීම ඔබේ වගකීමක්.කිසිදු කරුණක් සගවා තඹ නොගැනීමට වග බලා ගැනීම මගින් නිරෝගි දරු උපතක් සිදු කිරීමට ඔබට හැකි වෙනවා.

 

සායනයේදී ඔබ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට හා වෛද්‍යවරයාට සැපයීය යුතු තොරතුරු මොනවද?

 

- ඔබට ඔසප් වුනු අවසාන දිනය – ඔබේ අවසාන ඔසප් දිනය නිවැරදිව දැන ගැනීමෙන් ඔබගේ දරු ප්‍රසුතිය සිදු වන දිනය ගණනය කිරීම පහසු වෙනවා.

- උපත් පාලන භාවිතා කලේ නම්, සරු බාවය වැඩි කිරීමට අවශ්‍ය ඖෂධ භාවිතා කලේනම්, විශේෂ ඖෂධ භාවිතා කලේ නම්, ඒ පිළිබද පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට හා වෛද්‍යවරයා දැනුවත් කරන්න.

- මෙයට පෙර ගබ්සා වීම් සිදු වී ඇත්නම් ඒ පිළිබඳව දැනුවත් කරන්න.

- ඔබට හා ඔබේ සහකරුට ඇති රෝගී තත්ත්වයන් මෙන්ම ඔබගේ හා ඔබේ සහකරුගේ දෙමාපියන්ගේ රෝගී තත්ත්වයන් පිළිබඳවද දැනුවත්වී සිටින්න.

- ඔබ දැනටමත් යම් රෝගයක් සඳහා ප්‍රතිකාර ගන්නවා නම් ඒ පිළිබඳව දැනුවත් කරන්න.

 

වෛද්‍යවරයෙකු තෝරා ගැනීමේදී ඔබ කළ යුතු දේ මොනවාද?

 

ඔබ දරු ප්‍රසූතියට යාමට බලාපොරොත්තු වන රෝහලේ ලියාපදිංචි වන්න. ඔබේ කැමැත්ත අනුව ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකු මුණ ගැසිය හැකිය. ඔබ දැනටමත් කෙනෙකු තීරණය කර තිබෙන්නට පුළුවන. ඔබ එසේ කිසිවෙකු තීරණය කර නැත්නම් ඔබ කැමති රෝහලට ගොස් ඒ වන විට රාජකාරියේ යෙදෙන වෛද්‍යවරයා මුණ ගැසෙන්න. ඔබට කිසියම් බරපතල වෛද්‍ය ගැටළු හෝ සංකුලතාවයන් පවතින්නේ නම් ඔබ තෝරා ගන්නා ලද වෛද්‍යවරයා විසින් ඔබ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කරනු ඇත. එවිට ගර්භණි සමය තුල ඔබව වෛද්‍යවරුන් දෙදෙනාගේම අධීක්ෂණය යටතට පත්වනු ඇත.

 

ඉහත කරුණු සියල්ල ඉතා වැදගත් වන නිසාවෙන් , දරුවෙකු බලාපොරොත්තුවෙන් සිටින නව විවාපත් ඔබ මේ කරුණු සියල්ල කෙරෙහි අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. සම්පූර්ණ කාල සීමාව තුළදීම ඔබ හා ඔබගේ වෛද්‍යවරයා අතර නිසි සම්බන්ධතාවයක් වර්ධනය කර ගැනීම ඉතාමත් වැදගත්. ඔබගේ ශරීරයට දැනෙන සෑම අපහසුතාවයක් ම ප්‍රමාද නොකර ඔබගේ වෛද්‍යවරයාට දැනුම් දීම අත්‍යවශ්‍ය වෙනවා. එම නිසා මෙම සහ සම්බන්ධතාවය යහපත් මට්ටමකින් පවත්වාගෙන යාමට ඔබට සිදුවෙනවා.

 

තනිව ගත කරපු ජීවිතයට වඩා වැදගත් සහ බැරෑරුම් වගකීම් ගොන්නක් කරපින්නාගෙන විවාහ ජීවිතයේ ඉදිරි පියවර තබන්නට සූදානම් වන ඔබට මෙම කරුණු අතිශයින් වැදගත් වන බවට අප විශ්වාස කරනවා.