Parenthrive - Celebrating Parenthood, Embracing the Journey දරුවෙකු පිළිබඳව සිහින දකින නව විවාහක ඔබ විසින් කළ යුතු මූලික දේ- අංක 01
image

බොහෝ විට අලුත් විවාහක යුවලකගේ ඊළඟ සිහිනය තම පවුලට පුංචි කිරි කැටියකු අරන් එන එකයි. ඒ සදහා සූදානම් වීමේදි ඔබ විසින් කළ යුතු බොහෝ දෑ තිබෙනවා.ඔබත් නව විවාපත් යුවළක් නම් පහත සදහන් කරුණු ඔබේ ඉදිරි ජීවිතයේ "ප්ලෑන්" එක හදාගන්නට බොහෝ උපකාරී වේවි.

 

විවාහ වූ අලුතම තම ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය හමුවී ලියාපදිංචි වන්න ඔබට සිදු වෙනවා.

 

ලංකාවේ සෑම ප්‍රදේශයකටම පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් පත් කර තිබෙනවා. එනිසා ඔබත් විවාහ වූ අලුතම ඔබ පදිංචි ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය හමුවී ලියාපදිංචි වන්නට කටයුතු කරන එක බොහෝ වැදගත් වෙනවා. එවිට ඔබට ගර්භණීත්වයට පෙරම සිටම දැනුවත් වීමේ හැකියාව ලැබෙනවා.

 

ෆෝලික් අම්ලය ලබා ගැනීමට ඇය විසින් ඔබව දැනුවත් කිරීම එහිදී මූලිකවම සිදු කරනවා.

 

දරුවකුගේ ස්නායු පද්ධතියේ වර්ධනයට ෆෝලික් ඇසිඞ් අත්‍යවශ්‍ය වෙනවා. කළලයේ ස්නායු වර්ධනය ආරම්භ වන්නේ ගර්භණීත්වයේ මුල් සති කිහිපයේ ඉදන් නිසා මෙය ලබා ගැනීම අනිවාර්‍ය වෙනවා. බොහෝ විට කාන්තාවක් ගැබ් ගෙන ඇති බව දැන ගන්නේ සති පහක් හයක් පමණ ගත වූ පසුයි. එනිසා දරුවකු අපේක්ෂා කරන කාන්තාවක් ගැබ් ගැනීමට මාස තුනකට පෙර සිටවත් ෆෝලික් ඇසිඩ් 1 mg ක් පෙත්තක් වශයෙන් ගැනීම වැදගත් වෙනවා. එවිට දරුවා පිළිසිඳ ගත් දා සිටම ස්නායු පද්ධතියේ වර්ධනය නිසියාකාරව සිදුවන්නට ගන්නවා. රනිල කුලයේ මුං ඇට, කඩල, කවුපි වැනි ධාන්‍ය වර්ග වලින් වගේම එලවළු ,පළතුරු වලින්ද ස්වභාවිකව ශරීරයට අවශ්‍ය ෆෝලික් ඇසිඞ් ලබා ගන්න පුළුවන්.

 

ඔබගේ පෝෂණය පිළිබඳ අවදානය යොමු කරන්න.

 

ගර්භණී වීමෙන් පසු නීරෝගී බව පවත්වා ගැනීමට පෙර සූදානමක් තිබිම ඉතා වැදගත්. ගර්භණී සමයේ පෝෂණය වගේම ගර්භණී වීමට ප්‍රථමව ඔබේ පෝෂණයත් ගර්භණී සමය පුරාවට මවකගේ යහපත් සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි සෘජුවම බලපානවා. ගර්භණී වීමට කලින් අඩු බරක් තිබූ මවක් නම් ඇයට ගර්භණී සමය තුල නියමිත බර කරා ළඟාවීමට නොහැකි වීම නිසා දරුවා අඩු බරක් සහිත නොමේරූ දරුවකු වීමේ අවදානමක් තිබෙනවා. ඒ වගේම ගර්භණී වීමට ප්‍රථමව අධි බරක් ඇති මවක් නම් ඇය ගර්භණී සමයේ අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන්ට ගොදුරු වීම හේතුවෙන් ඇය මෙන්ම දරුවාද විවිධ සංකූලතාවයන්ට ගොදුරු වීමට බොහෝ ඉඩක් තිබෙනවා. එනිසා ගර්භණීත්වය පෙර සිටම නිසි උසට සරිලන බරක් පවත්වාගෙන යාම ඉතා වැදගත් වෙනවා.

 

පෝෂ්‍ය පදාර්ථ වලින් අනූන ආහාර පමණක් හැකි තරම් ඔබේ භාවිතයට ගැනීම ඉතාමත් යහපත් වෙනවා.කෘතිමව නිෂ්පාදනය කරන ලද සරල කෙටි කෑම හැකිතාක් දුරට ඔබේ ජීවිතයෙන් ඈත් කිරීම මගින් ඔබ වගේම ඉපදීමට නියමිතව සිටින දරුවාත් වඩාත් නීරෝගී දරුවෙක් වීමට ඉඩකඩ සලසා දෙනවා.එම නිසා ඔබේ පෝෂණය පිළිබඳව මෙම කාලසීමාව තුළදී වැඩි අවධානයක් යොමු කිරීමට වග බලා ගන්න.

 

ඔබ සහ ඔබේ සහකරුගේ මානසික මට්ටම ඉතා යහපත් අයුරින් සකසා ගන්න.

 

ඔබ දෙදෙනා අතර පවතින ගැටලු සහගත අවස්ථාවන්වලට සාමකාමීව පිළිතුරු සපයා ගැනීම හරහා මෙන්ම නිතර අධික කේන්තියට පත්වීම, විඩාබරවීම , දුකින් කල්ගෙවීම ආදී අයහපත් මානසික වාතාවරණයන් මෙම කාල සීමාවේදී ඔබ වටා ගොඩනංවා ගන්නට එපා. හැකිතාක් ධනාත්මකව ඔබේ මනස වර්ධනය කර ගැනීමට අවශ්‍ය කරන සාමකාමී, යහපත් හා සැනසිලිදායක වටපිටාවක් ඔබ වටා නිර්මාණය කරගන්න.