Parenthrive - Celebrating Parenthood, Embracing the Journey දරුවෝ හරියට ස්පොන්ච් වගේ...
image

දරුවෝ හරියට ස්පොන්ච් වගේ...

 

අලුත් ස්පොන්ච් එකකට වතුර උරාගන්නවා ඔබ දැක තිබේද? ස්පොන්ච් එක තුලට වතුර උරාගන්න තරමටම තමයි බලයක් යෙදුවම නැවත ඒ වතුර පිටතට එන්නෙත්..දරුවොත් ඒ වගේ.සුදු පැහැති හිස් කොළයක් තරම් පැහැදිලි මනසට ඔවුන් අත්දැකීම් උරාගන්නෙත් අන්න ඒ වගේ.

 

සිතන්න...

ඔබේ දරුවා අතින් ඔහු/ඇය සෙල්ලම් කරන විටෙක අසල ඇති ජනේලයක වීදුරුවක් බිදී ගියොත් ඔබේ ප්‍රතිචාරය කෙසේ දැයි මදක් සිතන්න.
දරුවාගෙ ආත්මාභිමානයට හානියක් නොවෙන්නට ප්‍රතිචාර දැක්වීමට සැබැවින්ම ඔබ සමත් වේද?

 

බැන වැදීම හා පැවසීම...

බිඳුණු වීදුරු කටු දැක කෝපයට පත්ව "බැන වැදීමත්" , ජනේලය නැවත පිළිසකර කර ගැනීමට යන කාලය, වියදම හා මහන්සිය ගැන කුඩා දරුවාට වැටහෙන ලෙස "පැවසීමත්" අතර වෙනස ඔබ හදුනනවාද?

 

ඔබ බැන වදින විට දරුවා සිටින්නෙ තවත් දරුවන් පිරිසක් අතර නම් තත්වය වඩා බරපතළ විය හැකි බව ඔබ දන්නවාද? සෑම විටකම දරුවාගෙ අදහස් ගෞරවාන්විතව සලකන්නට හුරු වෙන්න..

 

"පුතාට තුවාල වුනේ නෑ නේද??ජනේලේ ආයෙත් හදාගන්න යන වියදම අපි බෙදාගමු නේද පුතේ..අම්මයි තාත්තයි වගේම පුතත් ඒක බෙදාගමු.පුතාගෙ සෙල්ලම් බඩු වලට වෙන් කරපු සල්ලි වලින් ටිකකුත් අපි මේක ආයෙත් හදාගන්න දෙමු..අපි බලමු කොච්චර ඉක්මනට ආයෙත් වීදුරුව හදාගන්න පුලුවන්ද කියලා.."

ඔබේ ප්‍රතිචාරය මෙය නම් සැබැවින්ම ඔබ මෙම පරීක්ෂණය සමත්..

  • පළමුව දරුවාට මුල් තැන දෙන බව කුඩා මනසට දැනෙන්නට හරින්නට ඔබ වග බලාගත යුතුයි.බිඳුණු වීදුරුවට වඩා දරුවාගෙ ආරක්ශාව වැදගත් බව ඔහුට/ඇයට දැනුන විට මෙන්ම අම්මා හා තාත්තා විසින් තමා ගැන සැලකිලිමත් වන බව ඉන් දරුවා තේරුම් ගන්නා වග දැනගන්න.

 

  • දෙවනුව වරද පෙන්වා දෙන්නට උත්සහ කරන්න.වීදුරුව බිදී යාම වරදක් බවත්, ඒ සදහා දඩුවම ලෙස තමන්ගේ සෙල්ලම් බඩු වලට යන වියදම කපා හැරීම හරහා පාඩුව විදගත යුතු බවත් දරුවාට තේරුම් යාම පසු කලෙක නැවත ඔහු/ඇය එම වරද කිරීමට පෙළඹීමෙන් වලක්වාලනු ඇත.

 

දිගින් දිගටම දරුවාට සිදු කරන දොස් පැවරීම් වලින් දරුවාට අයහපතක් සිදු වන බව දැන සිටියත් ඔබේ කාර්‍යබහුල ජීවන රටාව තුල බලාපොරොත්තු කඩවීම්, මහන්සියට පත්වීම් හා කෝපයට පත් වීම පාලනය කරන්නට පහසු නොවන බව ඔබ දන්නවා..නමුත් එවැනි විටෙක විකල්ප ප්‍රතිචාර යොදා ගතහොත් තත්වය සමථයකට පත් කල හැකි බව ඔබට වැටහුනාද??
ඔබේ ප්‍රතිචාරය දරුවා දකින්නේ තමාට එරෙහිව කරන ප්‍රහාරයක් ලෙස විනා තත්ත්වය අවබෝධ කර වීමක් ලෙස නොවන බව දැනගන්න.එනිසා හැමවිටම ඔබේ අවවාදයට ලක්වෙන්නෙ දරුවාගෙ හැසිරීම මිසක දරුවා නොවන බව ඇඟවීමට හැසිරෙන්න.
තවමත් අත්දැකීම් උරා ගනිමින් සිටින දරුවාගේ අතින් සිදුවන අතපසුවීම්, මගහැරීම් මෙන්ම අනතුරු ද සැබැවින්ම ස්වභාවිකයි.නමුත් ඊට ප්‍රතිචාර දැක්වීමේ දෙමාපිය වගකීම නිර්මාණාත්මක වීම දරුවාගේ වර්ධනයට බලපාන්නේ දිනෙක, පෙඟුණු ස්පොන්ජ් කැබැල්ල දෑතින් මිරිකන විට නැවත එළියට එන වතුර මෙන් දිනෙක දරුවා නැවත සමාජයට මුදා හරින හැසිරීම් ලෙසිනි.

 

අවසානයේ දරුවා කුඩා කල ඔබ විසින් ලබා දුන් අත්දැකීම් සමග ඔහු/ඇය ඔබේ ප්‍රතිබිම්බය ලෙස සමාජගත වනු ඇත.

 

ඉතින්, ඔබේ පුංචි අංකුරයට ලස්සනට පැලවෙන්න නම් හරියට වතුර දාන්න..එවිට දිනෙක එය සවිමත්ව පොළොවට සවි වනු ඇත.