Parenthrive - Celebrating Parenthood, Embracing the Journey පසු ප්‍රසව විශාදය (PPD) යනු කුමක් ද?
image

මවක් වීම කාන්තාවකගේ ජීවිතයේ වඩාත්ම ප්‍රීතිමත් සහ තෘප්තිමත් අත්දැකීමක් ලෙස අපි බොහෝ විට නිරූපණය කරයි. කෙසේ වෙතත්, බොහෝ කාන්තාවන්, පසු ප්‍රසව මානසික අවපීඩනයට නැත්නම් විශාදයට (PPD) ගොදුරු වන අතර  එහි අඳුරු යථාර්ථය මෙම ප්‍රීතිමත් කාල පරිච්ඡේදය තුළ සෙවනැල්ලක් මෙන් ඔවුන් හඹා එයි. පසු ප්‍රසව මානසික අවපීඩනය යනු ලොව පුරා සිටින නව මව්වරුන් සැලකිය යුතු පිරිසකට බලපාන බරපතල මානසික සෞඛ්‍ය තත්ත්වයකි. මෙම අභියෝගාත්මක කාලය තුළ කාන්තාවන්ට සහාය වීම සඳහා ඊට හේතු, එහි රෝග ලක්ෂණ සහ ඊට කළ හැකි ප්‍රතිකාර තේරුම් ගැනීම ඉතා වැදගත් වේ.

 

පසු ප්‍රසව මානසික අවපීඩනය සාමාන්‍යයෙන් දරු ප්‍රසූතියෙන් පසු පළමු සති කිහිපය තුළ පැන නැගිය හැකිය. නමුත් එය දරු ප්‍රසූතියෙන් පසු පළමු වසර තුළ ඕනෑම වේලාවක වර්ධනය විය හැකිය. දරු ප්‍රසූතියෙන් පසු දිනවලදී සිදුවන හෝමෝන වෙනස්කම් සහ නව මාතෘත්වයට හැඩගැසීම හේතුවෙන් බොහෝ කාන්තාවන් අත්විඳින "බේබි බ්ලූස්" සහ ඊට වඩා දරුණු හා ස්ථීර ගැටලුවක් ලෙස සැලකිය හැකි දරු ප්‍රසූතියෙන් පසු ඇති වන මානසික අවපීඩනය, වෙන්කර හඳුනා ගැනීම වැදගත්ය.

 

පසු ප්‍රසව මානසික අවපීඩනයට බලපාන හේතු විවිධ වන අතර හෝමෝන වෙනස්කම්, ජානමය නැඹුරුතාවයන්, අතීතයේ සිදු වූ කම්පන සිදුවීම්, අවශ්‍ය සහාය නොමැතිකම සහ නින්ද නොයාම යනාදිය ඇතුළත් විය හැකිය. දරු ප්‍රසූතියේ අත්දැකීම, විශේෂයෙන් එය කම්පන සහගත හෝ සංකූලතා සම්බන්ධ වූවක්  නම්, PPD එනම් පසු ප්‍රසව විශාදය වර්ධනයට හේතුදායක විය හැකිය. මීට අමතරව, පරිපූර්ණ මවක් වීමට සමාජයෙන් ඇති පීඩනය සහ නව මව්වරුන් කෙරෙහි ඇති යථාර්ථවාදී නොවන විශාල අපේක්ෂාවන් නිසා තමා ප්‍රමාණවත් නොවේ යනාදි හැඟීම් ඔවුන් තුල මතු කර මානසික අවපීඩන රෝග ලක්ෂණ වලට හේතු විය හැකිය.

 

පසු ප්‍රසව විශාදයේ රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර ශෝකය, බලාපොරොත්තු සුන්වීම සහ වැදගැම්මකට නැතිකම, කලින් විනෝද වූ ක්‍රියාකාරකම් කෙරෙහි ඇති උනන්දුව අඩුවීම, ආහාර රුචිය සහ නිදි චක්‍රය වෙනස්වීම්, දරුවා සමඟ බැඳීමේ දුෂ්කරතා, දැඩි කාංසාව හෝ කෝපය, සහ තමාට හෝ දරුවාට හානි කිරීමේ සිතුවිලි වැනි විවිධ ලක්ෂණ පෙන්නුම් කළ හැක. මෙම රෝග ලක්ෂණ කාන්තාවකට තමන් සහ තම ළදරුවා රැකබලා ගැනීමේ හැකියාවට බාධා පමුණුවන අතර  දරුවා සහ මව යන දෙදෙනාටම දිගු කාලීන ප්‍රතිවිපාක ඇති කළ හැකිය.

 

පසු ප්‍රසව මානසික විශාදයේ සලකුණු හඳුනා ගැනීම ඉක්මන් මූලික මැදිහත්වීම සහ ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය වේ. සෞඛ්‍ය සේවා සපයන්නන් විසින් ප්‍රසව හා පසු ප්‍රසව හමුවීම් වලදී පසු ප්‍රසව විශාදය (PPD) ඇත්දැයි නව මව්වරුන් පරීක්ෂා කරමින් මේ සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. මව්වරුන් සහ සෞඛ්‍ය සේවා සපයන්නන් අතර විවෘත සහ අවංක සන්නිවේදනයක් පවත්වා ගානීම හරහා මෙම රෝග ලක්ෂණ හඳුනා ගැනීමට සහ මානසික ප්‍රතිකාර, ඖෂධ, උපකාරක කණ්ඩායම් සහ ජීවන රටා වෙනස් කිරීම් යනාදිය ඇතුළත් සුදුසු සහය සහ ප්‍රතිකාර විකල්ප වෙත ප්‍රවේශ වීමට අවශ්‍ය පහසුකම් සැලසිය හැක.

 

පසු ප්‍රසව විශාදය වටා ඇති අපකීර්තිය ආමන්ත්‍රණය කිරීම මඟින් අනෙක් අයගේ විනිශ්චයට හෝ ලැජ්ජාවට පක් වේ යැයි බියකින් තොරව අවශ්‍ය උපකාර පැතීම සඳහා මව්වරුන්ට පහසුවක් දැනෙන ආකාරයේ ආධාරක පරිසරයක් නිර්මාණය කිරීම ද ඉතා වැදගත් වේ. සැමියාට, පවුලේ සාමාජිකයින්ට සහ මිතුරන්ට ද මෙම මව්වරුන්ට අවශ්‍ය ප්‍රායෝගික සහාය, චිත්තවේග සහ හැඟීම් පිළිබඳ කතාබහ කිරීම සහ සවන් දීම හරහා මිල කළ නොහැකි සහයෝගයක් ලබා දිය හැකිය.

 

අවසාන වශයෙන්, පසු ප්‍රසව විශාදය බොහෝ නව මව්වරුන්ට බලපාන පොදු හා බරපතල තත්වයකි. දැනුවත් කිරීම, තත්වය කලින් හඳුනා ගැනීමට යොමු කරවීම, අවශ්‍ය සහය සහ ප්‍රතිකාර විකල්ප ලබා දීමෙන්, අපට මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදයේ සැරිසැරීමට මව්වරුන්ට උපකාර කළ හැකි අතර ඔවුන්ට මව්වරුන් ලෙස වර්ධනය වීමට අවශ්‍ය රැකවරණය සහ සහාය ඔවුන්ට ලැබෙන බව සහතික කළ හැකිය. මෙම සංවාදය ඉදිරියට රැගෙන යමින් මාතෘ මානසික සෞඛ්‍යයට සහයෝගය දැක්වීමට එක්ව කටයුතු කරමු.