Parenthrive - Celebrating Parenthood, Embracing the Journey පුංචි පැටියෙක් ඉන්න නිවසක තිබිය යුතුම දේ මොකක්ද ?
image

ප්‍රථමාධාර පෙට්ටියට ඔබේ නිවසේ ඇති තැන කුමක්ද?

 

කුඩා දරුවෙක් ඉන්න ඕනෑම නිවසක අනිවාර්‍යෙන් තිබිය යුතු දෙයක් තමයි මේ ප්‍රථමාධාර පෙට්ටිය කියන්නෙ..අද වන විට හුගක් දෙමව්පියන් මේ පිලිබදව දැනුවත් නිසා කුඩා දරුවන් සිටින ඕනම නිවසක දැකගන්න පුලුවන්.

ආර්ථිකයට පහසු වගේම නිවසේ ඉඩකඩ ඇහිරෙන ආකාරයේ එකක් නොවන ලෙස කුඩාවට සකසාගත් ප්‍රථමාධාර පෙට්ටියක් ඔබේ නිවසේත් අදම හදාගන්න..

දෙමව්පියන් විදියට මෙහිදී මූලිකවම ඔබ අවදානය යොමු කල යුතු දේවල් කීපයක් තියෙනවා

 

  • දුහුවිල්ල නොයන පරිදි සවි කල යුතුයි.
  • ඇතුලට වතුර කාන්දු නොවිය යුතුයි.
  • නොබිඳෙන එකක් විය යුතුයි.
  • පිටත ඇසුරුමකින් ලේබල් කර තිබිය යුතුයි.

 

ඔබේ නිවසේ දැනට ඇති ප්‍රථමාධාර පෙට්ටියේ තත්වය දෙස බලන්න.ඉහත කරුණු වලින් තෘප්ත නම් එය සැබැවින්ම ආරක්ශිත බව ඔබට දැන් වැටහේවි.

 

සාමාන්‍යෙන් එකිනෙකා පාවිච්චියට ගන්නා දේවල් මත මෙහි තිබිය යුතු දේ වෙනස් වන නමුත් පොදුවේ කුඩා දරුවෙකු සිටින නිවසක තිබිය යුතු දේ පහත පරිදි හදුන්වන්න පුලුවන්.

 

පුළුන්

(හැකි සෑම විටෙකම ජීවාණුහරණය කරන ලද පුළුන් තැබීමට වග බලාගන්න.කුඩා දරුවන් යනු විශබීජ වලට ඉතා ඉක්මනින් මුහුණදෙන්නන් බැවින් මේ පිලිබදව සැලකිලිමත් වන්න)

 

ගෝස් මාත්තු

( තුවාලයකට පිටින් යොදන සැරසුමක් කියලත් අපිට මෙය හදුන්වන්න පුලුවන්.හැකී නම් මේ සමගම කාඩ්බෝඩ් වලින් මදක් ඝනකම්ව තැනූ පතුරු කීපයකුත් තබන්න.මන්ද කුඩා දරුවන් යනු නිතරම තුවාල සිදු කරගන්න දක්ශයන් නිසා අස්ථි බිදීමක්, ඉරීමක් හෝ සංධි උලුක්කු වීමක් වුනොත් ඔබට පුලුවන් මෙම පතුරු තබා රෝහලට යන තුරු  එම ස්ථානය නොසෙල්වා තබා ගන්න)

 

වෙළුම් පටි

 

කතුර /කුඩා අඩුවක් / අත් වැසුම්

(නිවසේ නිතර භාවිතා කරන කතුර පොඩ්ඩන්ගේ තුවාල හෝ වෙනත් අවශ්‍යතා සදහා යොදා නොගන්න)

 

උණ කටුව

(මෙය ඩිජිටල් හෝ රසදිය එකක් විය හැකියි.නමුත් දරුවාගෙ ශරීරයේ තබන නිසා රසදිය උණ කටුව ගැන සැලකිලිමත් වන්න)

 

ප්ලාස්ටර්

 

කුඩා ඉටිබෑග්

(කුඩා දරුවන් හදිසියෙ වමනය කලහොත් ඔබට ඉක්මනින් මේවා පාවිච්චියට ගන්න පුලුවන්)

 

කුඩා විදුලි පන්දමක්

(දරුවන් නිතරම ඉතා කුඩා සෙල්ලම් බඩු හෝ වෙනත් කුඩා ද්‍රව්‍ය කන්/නාස් තුලට දමා ගැනීමට හපනුන්.ඒ නිසා හැකි ඉක්මනින් ඒවා පිටතට ගැනීමට කුඩා විදුලි පන්දමක් ඔබ සතුව තිබීම වටිනවා)

 

සැනිටයිසර් එකක්

 

ජීවනී / අසමෝදගම් වැනි දේ

(නිතරම කල් ඉකුත් වීමේ දිනය ගැන සැලකිලිමත් වන්න)

 

සබන් කෑල්ලක්

( ලෝකෙ තියෙන හොදම විශබීජ නාශකයක් තමයි වතුර හා සබන්.පොඩ්ඩෙක් තුවාල කරගත්තොත්, එහෙමත් නැතිනම් සතෙක් සපා කෑවොත් හැකි ඉක්මනින් පිරිසිදු සබන් කෑල්ලකින් අදාල ස්ථානය සෝදා හරින්න ඕන.ඒකට කිසි විටෙකත් ඔබේ මුලුතැන්ගේ හෝ නානකාමරයේ භාවිතා කරන සබන් කෑල්ල භාවිතා කරන්නෙපා.එය විශබීජ ගොන්නක්)

 

බෙහෙත්

( වේදනා නාශක, ප්‍රතිපූරක, ඇල්කොහොල් අඩංගු ස්ප්‍රීතු වැනි දෙයක්, තුවාලයට දමන දියරමය බෙහෙත් ) මේවා ගැනීමේදී වෛද්‍යවරුන්ගේ උපදෙස් පිලිපදින්න.නමුත් අදාල උපදෙස් වලින් තොරව හානියක් නොමැතිව භාවිතා කල හැකි දේ නිතරම ලග තබා ගන්න)

 

ප්‍රථමාධාර පෙට්ටිය ,බාල මහළු බේදයකින් තොරව නිවසක තිබිය යුතු අංගයක් වුණත් විශේශයෙන් කුඩා පැංචෙක් ඉන්න නිවසක මග හැරීමට නොහැකි..අතපසු විය නොහැකි අංගයක් කියලා ඔබට දැන් වැටහෙනවා ඇති..

 

ඉතින්, අම්මෙක් විදියට..තාත්තෙක් විදියට ඔබේ දරුවාගෙ ආරක්ශාවට මුල් තැන දීමට අවධානය යොමු කරන්න.හානියක් වීමට පෙර එය වළක්වා ගැනීමට හැකි සෑම විටකම කටයුතු කරන්න.නොවැලැක්විය හැකි හේතුවක් නිසා යම් හානියක් වුවහොත් තත්වය බරපතළ වීමට පෙර ලගම ඇති රෝහලට ඔබේ කුඩා දරුවා රැගෙන යන්න.එතෙක් ඔබට කල හැකි ඉහලම ප්‍රථමාධාරය දරුවාට ලබා දෙන්න...